Friday, June 29, 2012

වවුනියාව බන්ධනාගාරයේ කොටි සෙල්ලම මැඬලයි





ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීහු මුදා ගැනෙති

මෙහෙයුමට 400 ක්‌

එල්.ටී.ටී.ඊ. රැඳවියෝ දැඩි ආරක්‍ෂාව මැද අනුරාධපුරයට

එස්‌.ටී.එෆ්. හා පොලිසියේ නවදෙනෙක්‌ තුවාල ලබති

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමේ.

 
දින දෙකක්‌ තිස්‌සේ වව්නියාව බන්ධනාගාරය අත්පත් කර ගෙන එහි නිලධාරීන් පිරිසක්‌ ප්‍රාණඇපයට ගෙන සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී රැඳවියන් ඊයේ (29 වැනිදා) දහවල් අත්අඩංගුවට ගත් ආරක්‍ෂක අංශ බන්ධනාගාරයේ පරිපාලනය සියතට ගෙන ඔවුන්ගේ ග්‍රහනයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ද බේරා ගත්හ.

මෙහිදී රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ 9 දෙනෙක්‌ තුවාල ලැබූහ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී රැඳවියන්ගේ ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් බේරා ගැනීම සඳහා වව්නියාව පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඊයේ (29 දා) දහවල් දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් බන්ධනාගාරයේ එක්‌ පැත්තක විශාල තාප්පය බිඳ දමා ඊට ඇතුළු වූ අතර රැඳවියෝ ඔවුන් වෙත යකඩ පොලු ගස්‌මුල්වලින් ප්‍රහාරයක්‌ එල්ල කළහ.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් බන්ධනාගාරය වෙත ඇතුළු වුණු ආරක්‍ෂක අංශ කොටින්ගේ ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් තිදෙනා මුදා ගත්හ.

මුදාගනු ලැබූ නිලධාරීහු තිදෙනා දැඩි මානසික පීඩනයකට ලක්‌ව රෝගී තත්ත්වයෙන් පසුවූහ. පසුව එම නිලධාරීන් තිදෙනා ගිලන් රථ මගින් රෝහල් කරා යෑවීමට කටයුතු කර තිබිණි.

බන්ධනාගාරයට කඩා වැදුණු ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ එ ල්. ටී. ටී. ඊ. රැඳවියන් අතර ගැටුමක්‌ ද හටගත් අතර එහිදී එල්. ටී. ටී. ඊ. රැඳවියන් පිරිසක්‌ තුවාල ලැබූහ. තුවාලකරුවන් බස්‌ රථ මාර්ගයෙන් වව්නියාව රෝහල වෙත යෑවීමට පොලිස්‌ නිලධාරීහු පියවර ගත්හ. මෙම ගැටුමේදී රැඳවියන්ගේ යකඩ පොලු සහ ගල් මුල් ප්‍රහාරයන්ට ලක්‌වූ විශේෂ කාර්ය බළකායේ 6 දෙනෙක්‌ සහ පොලිසියේ තිදෙනෙක්‌ තුවාල ලැබූහ.

මේ අතර වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඇතුළු රැඳවියන් සියලු දෙනා බස්‌ රථවලින් අනුරාධපුරය බන්ධනාගාරය වෙත ආරක්‍ෂිතව යෑවීමට පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ. මෙම රැඳවියන් දැඩි ආරක්‍ෂාවක්‌ යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිsටියේය.

මේ අතර වවුනියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ඊයේ (29 දා) තීරණය කර ඇත.

දින දෙකක්‌ තිස්‌සේ බන්ධනාගාරය අත්පත් කරගෙන සිටි එල්. ටී. ටී. ඊ. රැඳවියන් එහි වාට්‌ටු කීපයකට ගිනි තබා දේපොළවලටද හානි කර තිබිණි. වව්නියාව බන්ධනාගාරය ත්‍රස්‌තවාදී රැඳවියන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී පී. රණවන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැලසුම් කෙරිණි.

මෙම දැවැන්ත මෙහෙයුම සඳහා පොලිස්‌ නිලධාරීන් 200 දෙනෙක්‌ විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදාවේ නිලධාරීහු 200 දෙනෙක්‌ සහභාගි වූහ.

වව්නියාව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කණ්‌ඩායම් ක්‍රියාත්මක වූ අතර ඊයේ දහවල් වනවිට බන්ධනාගාරයේ මුළු පරිපාලනය පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් අතට ගෙන තිබිණි.

වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්‌ බන්ධනාගාර ඡේලර්වරුන් තුන්දෙනකු 28 දා සවස පැහැරගෙන ගොස්‌ සිරමැදිරියක ප්‍රාණඇපකරුවන් වශයෙන් තබා ගැනීමත් සමගම වවුනියාව බන්ධනාගාරය හා ඒ අවට ප්‍රදේශය තුළ ඊයේ උදේ වරුව වනවිටත් දැඩි නොසන්සුන්තාවක්‌ හට ගෙන තිබිණි.


සිරකරුවන් පිරිස බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන ඉල්ලා සිටියේ වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බූස්‌ස ඇතුළු වෙනත් ප්‍රදේශවලට රැගෙන ගිය එල්. ටී. ටී. ඊ. සැකකරුවන් වශයෙන් රඳවා සිටි සිරකරුවන් තුන්දෙනා වහාම ආපසු වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එන ලෙසයි.

එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ලෙස වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි මේ තුන්දෙනා වෙනත් පළාත්වලට රැගෙන ගොස්‌ ඇත්තේ පසුගිය 26 වැනිදායි. එම අවස්‌ථාවේදීම වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. සිරකරුවෝ ආහාර වර්ජනය කරමින් සිය සිරමැදිරිවලට ඉබි යතුරු දමාගෙන උපවාසයක්‌ ආරම්භ කළහ. බන්ධනාගාර නිලධාරීන්ගේ මැදහත්වීම මත එම උපවාසය 27 දා රාත්‍රිය වනවිට අවසන් වී තිබිණි.


නමුත් 28 දා රාත්‍රිය වනවිට ඡේලර්වරුන් තුන්දෙනකු පැහැරගත් බන්ධනාගාර සිරකරුවෝ ඔවුන් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වෙනත් පළාත්වලට රැගෙන ගිය සිරකරුවන් තුන්දෙනා ඉල්ලා සිටියහ.

මේ පිළිබඳව සිරකරුවන් සමඟ වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ද, වව්නියාව දිසාවිනිසුරුවරයා ඇතුළු නීතිඥවරුන් පිරිසක්‌ද 28 දා රාත්‍රියේ සාකච්ඡා කොට ඇතත් සිරකරුවන් රඳවාගෙන සිටි ඡේලර්වරුන් තුන්දෙනා ලබාදීම ප්‍රතික්‍ෂේප කොට තිබේ.

උතුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (29 වැනිදා) උදෑසන වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කළහ. සිරකරුවන් සමඟ සුහදව සාකච්ඡා කොට ප්‍රාණ ඇපයට තබාගෙන සිටින ඡේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කර ගැනීමට සියලුදෙනා තීරණය කළත් එම උත්සාහය අසාර්ථක විණි.

පොලිසියේ කැරළි මර්දන ඒකකය ද පොලිස්‌ විශේෂ කාර්ය බළකායද කැඳවා වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ගොස්‌ ඡේලර්වරුන් තුන්දෙනා බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කෙරුණේ ඉන් පසුවය.

No comments: