Friday, June 29, 2012

වවුනියාවේ වැරදි සංඥව නිවැරැදි කිරීම

වවුනියා බන්ධනාගාරය ඊයේ (29 දා) උදය වරුවේදී කොටි සංවිධානයේ ග්‍රහණයෙන් මුදා ගන්නා ලදී. කොටි සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගනු ලැබ සිටි ඡේලර්වරුන් තිදෙනාද බේරා ගන්නා ලදී. විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙකී මෙහෙයුම සිදුකරමින් රට දැය උදෙසා නැවත වරක්‌ කැපවූහ. වවුනියා බන්ධනාගාරයේ පාලනය කොටි සංවිධානයේ සිරකරුවන් අතට පත්වීම මගින් පිටස්‌තර ලෝකයට දෙනු ලැබූ සංඥව ඉතා නරක එකකි. මේ වූ කලී ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද තුනකට සූදානම් වන මොහොතකි. මේ මොහොතේදී රජය අපහසුතාවට පත් කිරීම දේශීය සහ විදේශ බලවේගවල න්‍යාය පත්‍රයයි. කොටි සංවිධානයට තවමත් බලය ඇති බව පෙන්වීමට දෙමළ ජාතික සන්ධානයට මේ මොහොතේදී අවශ්‍යව තිබේ. එසේම එම දර්ශනයම ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීමට මෙරට ඇති බලගතු රාජ්‍ය නොවන සංවිධාන ස්‌වල්පයකටද උවමනාය. වවුනියාව බන්ධනාගාරය කොටින් යටතට ගැනීම,

ඡේලර්වරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීම පිටුපස කතාවක්‌ තිබේ. මෙතැන් සිට ඔබ කියවන්නේ ඒ කතාවය.

වවුනියා බන්ධනාගාරයට බන්ධනාගාර අධිකාරිවරයකු නැත. එය පාලනය වන්නේ අනුරාධපුර බන්ධනාගාරය යටතේ දසනායක නමැති ප්‍රධාන ඡේලර්වරයකු යටතේය. යුද්ධයේ දරුණුම අවස්‌ථාවේදී මේ බන්ධනාගාරය පාලනය කළේ ප්‍රධාන ඡේලර්වරයකු විසිනි. යුද්ධය දරුණු ලෙස ඇවිලී යද්දී එහි සිටි කොටි රැඳවියන් විවිධ නාඩගම් නටන්නට උත්සාහ කළත් ප්‍රධාන ඡේලර් දසනායක එයට ඉඩ දෙන්නේ නැත. ඔහුගේ කාලය තුළ කිසිදු

ඡේලර් කෙනෙක්‌ ප්‍රාණ ඇපයට නොගන්නා ලදී. කිසිදු විරෝධතාවක්‌ නොපවත්වන ලදී. කිසිදු රැඳවියකුගේ හෝ

ඡේලර් කෙනකුගේ ලේ නොසෙල්වන ලදී. ඔහුගේ පාලනය දැඩි පාලනයකි. උදේ හවස බුරියානි කන්නට දී රාත්‍රියට අරක්‌කු බාගයක්‌ සමග වෙනත් පහසුකමක්‌ සපයාදී කොටින් පාලනය කළ නොහැක. ඔවුන් පාලනය කළ හැක්‌කේ අයෝමය හස්‌තයකිනි. ඒ හස්‌තය ප්‍රධාන ඡේලර් දසනායකට තිබිණි.

මේ අතර ඔහුගේ පාලනය දැඩි බවට කොටි හිතවාදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ විවිධ පුද්ගලයෝ ආණ්‌ඩුවට බලපෑම් කළහ. මේ අනුව ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලදී. ඊළඟට ආ ප්‍රධාන ඡේලර්ට බන්ධනාගාරය පාලනය කිරීමට බැරිවිය. වතාවක්‌ වවුනියාවේ සිරගෙදර කොටි රැඳවියන් පිරිසක්‌ වෙනත් සිර ගෙයකට මාරු කළ විට ඔවුන් ආපසු ඉල්ලා සිරගෙදර සිටි සෙසු කොටි දඟලන්නට පටන් ගත්හ. එවිට එම දැඟලීම නැවැත්වීම සඳහා ආණ්‌ඩුව කළේ මාරු කළ කොටි රැළ නැවතත් වවුනියා බන්ධනාගාරයට ගෙනවුත් ඇරලීමය. මෙය යුද්ධයෙන් පැරදීමෙන් පසු වවුනියාවේදී ලද පළමුවන ජයග්‍රහණය විය. මේ ජයග්‍රහණයෙන් පසු තමන් වෙත ඊළම නැවත ලැබීමේ අවස්‌ථාව උදාවී ඇතැයි කොටි කල්පනා කළහ. ඒ අනුව ප්‍රධාන ඡේලර්ට තවදුරටත් හිරගෙදර පාලනය කරගැනීමට බැරිවූ අතර ඔහු මාරුකර වෙන කෙනකු එම තනතුරට පත් කිරීමට ආණ්‌ඩුවට සිදුවිය.

කොටින් පාලනය කිරීමට හාවුන්ට නොහැක. කොටින් පාලනය කළ හැක්‌කේ සිංහයන්ට පමණි. ඒ අනුව වවුනියාවේ සිර ගෙදර පාලනය කිරීමට කොටි බලයට නොනැමෙන සෘජු මිනිසකු අවශ්‍යය. එම මිනිසා තෝරා ගැනීම ආණ්‌ඩුවේ වගකීමයි. අපේ වගකීම වන්නේ තිබෙන විපත්තිදායක තත්ත්වය පෙන්වා දීම පමණි.

අපගේ යෝජනාවක්‌ තිබේ. එනම් කොටි රැඳවියන් පමණක්‌ සිටින සිරගෙවල් පවත්වාගෙන යැමක්‌ වළකින ලෙසය. මෙය බහු වාර්ගික රටක්‌ නම් සිරගෙවල්ද බහු වාර්ගික විය යුතුය. උතුරු නැගෙනහිර බහු වාර්ගික විය යුතුය. සුළු ජාතියක්‌ එකට එක්‌වූ විට විවිධ හානි අදහස්‌ හිතට එයි. එය වළක්‌වා ගැනීම බුද්ධිමත් රාජ්‍ය පාලකයාගේ වගකීමය.

No comments: