Friday, June 29, 2012

ඊයේ වව්නියාව බන්ධනාගාරයේ මොකද වුණේ?





වව්නියාව බන්ධනාගාරය ඉකුත් විසිහය වැනිදා සිට අවුල් ජාලාවක්‌ බවට පත්විණි. මේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 201 දෙනාගෙන් 32 ක්‌ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වූවෝය. ඔවුන්ගෙන් තුන්දෙනකු බූස්‌ස කවුරට රැගෙන ගොස්‌ පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට තීරණය කෙරුණේ අධිකරණ නියෝගයක්‌ මතය.

අධිකරණ නියෝගය මත ඔවුන් වව්නියාව බන්ධනාගාරයෙන් රැගෙන යැමට පෙර බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුමක්‌ ඇතිවිණි. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඔවුනට පහර දීම නිසා සිරකරුවෝ නොසන්සුන් වූහ. නොසන්සුන් වූ සිරකරුවෝ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් තුන්දෙනා බන්ධනාගාරයෙන් රැගෙන යැමත් සමගම උපවාසයක්‌ ආරම්භ කළහ. ආහාර වර්ජනය කළ සිරකරුවෝ සිර මැදිරි අගුළුලාගෙන බන්ධනාගාර නිලධාරීන්ට සිර මැදිරි තුළට ඒමට නොදී උපවාස කළහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ බන්ධනාගාරයෙන් රැගෙන ගිය තිදෙනා ආපසු බන්ධනාගාරයට රැගෙන ඒමට නිලධාරීන් කටයුතු කළ යුතු බවය.

විසිහය වැනිදා බන්ධනාගාරයට ගිය පොලිස්‌ නිලධාරීන් හා අධිකරණයේ නීතිඥවරු පිරිසක්‌ සිරකරුවන්ට කරුණු පැහැදිලි කළහ. මේ තිදෙනා වව්නියාව බන්ධනාගාරයෙන් වෙනත් තැනකට රැගෙන ගියේ ඔවුනට පුනරුත්ථාපනය ලබාදී නිදහස්‌ කිරීමට බව පුන පුනා කීවේය. එල්. ටී. ටී. ටී. ඊ. යේ හිටපු කාන්තා නායිකාව වන තමිලිනී උදාහරණයට ගනිමින් ඇයව පුනරුත්ථාපනයට යොමු කළ අන්දමටම මේ තිදෙනාත් පුනරුත්ථාපනයට යොමු කරන බව නිලධාරීන් විසින් සිරකරුවන්ට ඒත්තු ගැන්වූහ. විසිහත් වැනිදා වව්නියාව බන්ධනාගාරයට හිරු උදාවූයේ ඉතා සාමකාමීවය. උපවාසයේ නිරතව සිටි සිරකරුවෝ උපවාසය අතහැර තිබිණි.

එහෙත් දහවල් කාලය වන විට උපවාසයේ නිරත වූ සිරකරුවන්ට ජේලර්වරු පිරිසකගෙන් විවිධ අන්දමේ අඩන්තේට්‌ටම් සිදුවිණි. බන්ධනාගාර නිලධාරීන්ගේ අභිප්‍රාය වූයේ යළිත් මෙවැනි සිදුවීමක්‌ වව්නියාව බන්ධනාගාරය තුළ සිදුවීම වළක්‌වා ගැනීමය. එහෙත් ඉන් සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.

එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ලෙස වව්නියාව බන්ධනාගාරයේ ඉතිරි වී සිටි සිරකරුවන් 29 දෙනා සංවිධානය වූහ.

ජේලර්වරුන්ගේ පහරදීම් පිළිබඳව යළි යළි මෙනෙහි කොට එහි අසාධාරණය ගැන සෙසු සිරකරුවන්ටද දන්වමින් සිරකරුවෝ සැලසුමක්‌ දියත් කළහ.

වව්නියාව බන්ධනාගාරයේ සිට වෙනත් පළාතකට රැගෙන යන ලද සිරකරුවන් තුන්දෙනා ආපසු රැගෙන එනතුරු ප්‍රාණ ඇපකරුවන් ලෙස බන්ධනාගාර නිලධාරීන් (ජේලර්වරුන්) තුන්දෙනකු අත්අඩංගුවට ගත් සිරකරුවෝ ඔවුන්ව සිරමැදිරියකට දමා අගුල් ලෑහ. සිරකරුවන් විසින් අඳිනු ලබන සිර ඇඳුම් (ජම්පර්) මේ නිලධාරීන්ට අන්දවා සිරකරුවෝ ඔවුනට කෑම බීමද සපයා දුන්හ.

බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනාගෙන් දෙදෙනකු සිරකරුවන්ගේ අත්අඩංගුවට පත් වූයේ ඔවුන් රාජකාරිවල නිරත වීමට ගිය අවස්‌ථාවේදීය. සිරකරුවන් තුන්දෙනා වෙනුවට බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙක්‌ම අත්අඩංගුවට ගැනීමට සිරකරුවෝ සැලසුම් කොට තිබූ නිසා දැල් ආවරණයකින් එළියට පැමිණි සිරකරුවකු යාබද කාමරයක්‌ දෙසට යමින් සිටි ජේලර්වරයකු පැහැර ගත්හ. ඒ අනුව සිරකරුවන්ට ජේලර්වරු තුන්දෙනකුම ප්‍රාණ ඇපකරුවන් ලෙස සිය බාරයට ගැනීමට හැකි වූහ.

එතැන් පටන් වව්නියාව බන්ධනාගාරයේ අවුල දිග්ගැස්‌සිණි. ජේලර්වරුන් තුන්දෙනාගේ ආරක්‍ෂාව පිළිබඳව විශාල ප්‍රශ්නයක්‌ පැනනැගුණි. වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ බන්ධනාගාරයට ගොස්‌ ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කරගැනීමට සාකච්ඡා ආරම්භ කළහ. සිරකරුවන්ගේ එකම ප්‍රකාශය වූයේ වව්නියාව බන්ධනාගාරයෙන් පිටතට

රැගෙන ගිය තම සහෝදර සිරකරුවන් තුන්දෙනා ආපසු වව්නියාව බන්ධනාගාරයට රැගෙන එනතුරු ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ නොකරන බවය.

රාත්‍රි කාලය දැඩි වෙත්ම බිය සංකාව සමග ජේලර්වරුන්ගේ ජීවිතවලට ඇති අවදානම ගැන විවිධ මත පළවූහ. අවසානයේදී වව්නියාව දිසාවිනිසුරු ආර්. ඇලෙක්‌රාජා මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ඇන්ටන් පුනිදනායගම් මහතා සමග වව්නියාව බන්ධනාගාරයට ගියහ. ඇන්ටන් පුනිදනායගම් මහතා නීතිඥවරයකු වශයෙන් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිසා බන්ධනාගාරය තුළ සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් 29 දෙනාගෙන් යම් ප්‍රතිචාරයක්‌ ලැබෙනු ඇතැයි මේ දෙදෙනා අනුමාන කළහ.

දිසාවිනිසුරුවරයාටත් නීතිඥවරයාටත් සිරකරුවන් හමුවීමට බන්ධනාගාරය තුළට බැසීමට සිදුවූයේ ඉනිමගක ආධාරයෙනි. ඉතා ආයාසයෙන් යුතුව ඉනිමගේ ගමන් කරමින් බන්ධනාගාරය තුළට බැසීමට ගිය දිසාවිනිසුරුවරයාට මෙහිදී කකුලේ යමක්‌ ගැටී තුවාල සහගත තත්ත්වයක්‌ද ඇතිවුණි.

මුලින්ම සිරකරුවන් සමග කතා කළ විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන් සමග ප්‍රශ්න ඇතිකර ගැනීම නිෂ්ඵල කරුණක්‌ බව අවබෝධ කොට දුන්නේ මේ තීරණය අධිකරණ නියෝගයක්‌ බව පෙන්වා දෙමිනි. එහෙත් සිරකරුවෝ ඊට අවනත නොවූහ. ඇන්ටන් ජුනිදනායගම් නීතිඥවරයා සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් තවත් බොහෝ දේ කීහ. ඒ සම්බන්ධයෙන් සිරකරුවන්ගේ කිසිදු අවධානයක්‌ යොමු නොවුණු තැන මේ බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනා රඳවා ගැනීම නිසා ඔවුන්ගේ ඥතීන් මහපාරේ දුක්‌ විඳින බව ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවේදී එක්‌ සිරකරුවකු නීතිඥවරයාට ප්‍රකාශ කොට තිබුණේ "අපි වසර දෙකක්‌ම සිටින්නේද මේ සිර මැදිරිවල අපා දුක්‌ විඳිමින් බවය. මේ නිසා සිරකරුවන් තුන්දෙනා ආපසු බන්ධනාගාරයට ගෙන එනතුරු ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කළ නොහැකි බව සිරකරුවන් තරයේම ප්‍රකාශ කළ බැවින් වව්නියාව දිසා විනිසුරුවරයාටත් නීතිඥවරයාටත් මැදියම් රැයේදී බලාපොරොත්තු සුන්ව බන්ධනාගාරයෙන් පිටවීමට සිදුවිණි.

විසිනව වැනිදා අලුයම වනවිටද මේ තත්ත්වයේ කිසිදු වෙනසක්‌ නොවීය. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, බන්ධනාගාර සහකාර කොමසාරිස්‌ කුලතුංග, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ සිරකරුවන්ට මානුෂීය ගුණාංග සලකා ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටියහ. ශබ්දවාහිනී යන්ත්‍රවල ආධාරයෙන් කළ එම ඉල්ලීමමට කිසිදු පිළිතුරක්‌ නොවිණි.

වව්නියාව බන්ධනාගාරයට සැපයෙන විදුලිය විසන්ධි කොට සිරකරුවන් අපහසුතාවට පත් කිරීමට ද නිලධාරීන් පියවර ගත් නමුත් ඒ කිසිවකින් හෝ සිරකරුවන් මෙල්ල වූයේ නැත. උදැසන හතේ සිට විවිධ උපක්‍රම යෙදුව ද සිරකරුවන්ගෙන් පැහැදිලි ප්‍රතිචාරයක්‌ නොලැබුණු නිසා සූක්‍ෂම මෙහෙයුමක්‌ දියත් කොට ජේලර්වරුන් තුන්දෙනා බේරා ගැනීමට අවසානයේදී තීරණය විණි.

මේ අනුව පස්‌වරු 12.30 ට පමණ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ පිරිසක්‌ බන්ධනාගාරයේ තාප්පයක්‌ බිඳ බන්ධනාගාරය තුළට කඩා පැන ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ජේලර්වරුන් තුන්දෙනා මුදාගෙන ගිලන්රථ මගින් වව්නියාව රෝහල කරා රැගෙන ගියහ. සිරකරුවන් සියලු දෙනාද එකතු කොට බන්ධනාගාර බස්‌රථවල පටවාගෙන අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගියහ. මේ සිද්ධියේදී සිරකරුවන් මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ නිලධාරීන් ද දසදෙනකු පමණ තුවාල ලැබූහ.

වව්නියාව බන්ධනාගාරයේ සිද්ධිය නාටකයක්‌ මෙන් වුවත් ඉන් ඉගෙනගැනීමට බොහෝ දේ තිබේ. වව්නියාව බන්ධනාගාරය තුළ මෙවැනි ගැටුම් ඇති වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. වසර දෙකක පමණ කාලයක සිට වව්නියාව බන්ධනාගාරය තුළ ගැටුම්ය. එල්. ටී. ටී. ඊ. සැකකරුවන් හා සාමාන්‍ය සිරකරුවන් එකට යෙදීම නිසා වව්නියාව බන්ධනාගාරය තුළ බොහෝ ගැටුම් ඇති විණි. නමුත් කිසිදු නිලධාරීයකු මේ ගැටුම් සඳහා විසඳුම් සෙවීම වෙනුවට බන්ධනාගාර නිලධාරීන් ලවා සිරකරුවන් ආණ්‌ඩු මට්‌ටු කිරීමට ක්‍රියාකිරීම මෙවැනි සිද්ධීන් ඇතිවීමට මූලික හේතුව විණි.

වව්නියාව බන්ධනාගාරය තුළ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් විවිධ කැරළි ගසන විට සංවිධානය වන විට ඔවුන්ව කුඩා කුඩා කොටස්‌ වශයෙන් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කළේ නම් ඔවුනට කැරළි ගැසීමට ඉඩක්‌ නොමැත. එමෙන්ම පළමු සිද්ධිය වූ දිනයේදීම මේ සිරකරුවන් වෙනුවෙන් කුමක්‌ හෝ දුරදර්ශී වැඩපිළිවෙළක්‌ සකස්‌ කළේ නම් බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනකුට මෙවැනි ශෝචනීය ඉරණමක්‌ අයත් නොවනු ඇත.

මේ ලිපිය ලියන මොහොත වන විට වව්නියාව බන්ධනාගාරය තුළ එකම සිරකරුවකු හෝ නොමැත. බන්ධනාගාර නිලධාරීන් පමණක්‌ සිටින වව්නියාව බන්ධනාගාරය දැන් පාලු අම්බලමක්‌ බවට පත්ව තිබේ. එහෙත් ඒ වනතුරු සිදුවූ සිදුවීම් මාලාව එතරම් යහපත් සිදුවීම් නොවේ.

No comments: