Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

Friday, June 29, 2012

වවුනියාවේ වැරදි සංඥව නිවැරැදි කිරීම

වවුනියා බන්ධනාගාරය ඊයේ (29 දා) උදය වරුවේදී කොටි සංවිධානයේ ග්‍රහණයෙන් මුදා ගන්නා ලදී. කොටි සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගනු ලැබ සිටි ඡේලර්වරුන් තිදෙනාද බේරා ගන්නා ලදී. විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙකී මෙහෙයුම සිදුකරමින් රට දැය උදෙසා නැවත වරක්‌ කැපවූහ. වවුනියා බන්ධනාගාරයේ පාලනය කොටි සංවිධානයේ සිරකරුවන් අතට පත්වීම මගින් පිටස්‌තර ලෝකයට දෙනු ලැබූ සංඥව ඉතා නරක එකකි. මේ වූ කලී ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද තුනකට සූදානම් වන මොහොතකි. මේ මොහොතේදී රජය අපහසුතාවට පත් කිරීම දේශීය සහ විදේශ බලවේගවල න්‍යාය පත්‍රයයි. කොටි සංවිධානයට තවමත් බලය ඇති බව පෙන්වීමට දෙමළ ජාතික සන්ධානයට මේ මොහොතේදී අවශ්‍යව තිබේ. එසේම එම දර්ශනයම ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීමට මෙරට ඇති බලගතු රාජ්‍ය නොවන සංවිධාන ස්‌වල්පයකටද උවමනාය. වවුනියාව බන්ධනාගාරය කොටින් යටතට ගැනීම,

ඡේලර්වරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීම පිටුපස කතාවක්‌ තිබේ. මෙතැන් සිට ඔබ කියවන්නේ ඒ කතාවය.

වවුනියා බන්ධනාගාරයට බන්ධනාගාර අධිකාරිවරයකු නැත. එය පාලනය වන්නේ අනුරාධපුර බන්ධනාගාරය යටතේ දසනායක නමැති ප්‍රධාන ඡේලර්වරයකු යටතේය. යුද්ධයේ දරුණුම අවස්‌ථාවේදී මේ බන්ධනාගාරය පාලනය කළේ ප්‍රධාන ඡේලර්වරයකු විසිනි. යුද්ධය දරුණු ලෙස ඇවිලී යද්දී එහි සිටි කොටි රැඳවියන් විවිධ නාඩගම් නටන්නට උත්සාහ කළත් ප්‍රධාන ඡේලර් දසනායක එයට ඉඩ දෙන්නේ නැත. ඔහුගේ කාලය තුළ කිසිදු

ඡේලර් කෙනෙක්‌ ප්‍රාණ ඇපයට නොගන්නා ලදී. කිසිදු විරෝධතාවක්‌ නොපවත්වන ලදී. කිසිදු රැඳවියකුගේ හෝ

ඡේලර් කෙනකුගේ ලේ නොසෙල්වන ලදී. ඔහුගේ පාලනය දැඩි පාලනයකි. උදේ හවස බුරියානි කන්නට දී රාත්‍රියට අරක්‌කු බාගයක්‌ සමග වෙනත් පහසුකමක්‌ සපයාදී කොටින් පාලනය කළ නොහැක. ඔවුන් පාලනය කළ හැක්‌කේ අයෝමය හස්‌තයකිනි. ඒ හස්‌තය ප්‍රධාන ඡේලර් දසනායකට තිබිණි.

මේ අතර ඔහුගේ පාලනය දැඩි බවට කොටි හිතවාදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ විවිධ පුද්ගලයෝ ආණ්‌ඩුවට බලපෑම් කළහ. මේ අනුව ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලදී. ඊළඟට ආ ප්‍රධාන ඡේලර්ට බන්ධනාගාරය පාලනය කිරීමට බැරිවිය. වතාවක්‌ වවුනියාවේ සිරගෙදර කොටි රැඳවියන් පිරිසක්‌ වෙනත් සිර ගෙයකට මාරු කළ විට ඔවුන් ආපසු ඉල්ලා සිරගෙදර සිටි සෙසු කොටි දඟලන්නට පටන් ගත්හ. එවිට එම දැඟලීම නැවැත්වීම සඳහා ආණ්‌ඩුව කළේ මාරු කළ කොටි රැළ නැවතත් වවුනියා බන්ධනාගාරයට ගෙනවුත් ඇරලීමය. මෙය යුද්ධයෙන් පැරදීමෙන් පසු වවුනියාවේදී ලද පළමුවන ජයග්‍රහණය විය. මේ ජයග්‍රහණයෙන් පසු තමන් වෙත ඊළම නැවත ලැබීමේ අවස්‌ථාව උදාවී ඇතැයි කොටි කල්පනා කළහ. ඒ අනුව ප්‍රධාන ඡේලර්ට තවදුරටත් හිරගෙදර පාලනය කරගැනීමට බැරිවූ අතර ඔහු මාරුකර වෙන කෙනකු එම තනතුරට පත් කිරීමට ආණ්‌ඩුවට සිදුවිය.

කොටින් පාලනය කිරීමට හාවුන්ට නොහැක. කොටින් පාලනය කළ හැක්‌කේ සිංහයන්ට පමණි. ඒ අනුව වවුනියාවේ සිර ගෙදර පාලනය කිරීමට කොටි බලයට නොනැමෙන සෘජු මිනිසකු අවශ්‍යය. එම මිනිසා තෝරා ගැනීම ආණ්‌ඩුවේ වගකීමයි. අපේ වගකීම වන්නේ තිබෙන විපත්තිදායක තත්ත්වය පෙන්වා දීම පමණි.

අපගේ යෝජනාවක්‌ තිබේ. එනම් කොටි රැඳවියන් පමණක්‌ සිටින සිරගෙවල් පවත්වාගෙන යැමක්‌ වළකින ලෙසය. මෙය බහු වාර්ගික රටක්‌ නම් සිරගෙවල්ද බහු වාර්ගික විය යුතුය. උතුරු නැගෙනහිර බහු වාර්ගික විය යුතුය. සුළු ජාතියක්‌ එකට එක්‌වූ විට විවිධ හානි අදහස්‌ හිතට එයි. එය වළක්‌වා ගැනීම බුද්ධිමත් රාජ්‍ය පාලකයාගේ වගකීමය.

ඊයේ වව්නියාව බන්ධනාගාරයේ මොකද වුණේ?





වව්නියාව බන්ධනාගාරය ඉකුත් විසිහය වැනිදා සිට අවුල් ජාලාවක්‌ බවට පත්විණි. මේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 201 දෙනාගෙන් 32 ක්‌ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වූවෝය. ඔවුන්ගෙන් තුන්දෙනකු බූස්‌ස කවුරට රැගෙන ගොස්‌ පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට තීරණය කෙරුණේ අධිකරණ නියෝගයක්‌ මතය.

අධිකරණ නියෝගය මත ඔවුන් වව්නියාව බන්ධනාගාරයෙන් රැගෙන යැමට පෙර බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුමක්‌ ඇතිවිණි. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඔවුනට පහර දීම නිසා සිරකරුවෝ නොසන්සුන් වූහ. නොසන්සුන් වූ සිරකරුවෝ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් තුන්දෙනා බන්ධනාගාරයෙන් රැගෙන යැමත් සමගම උපවාසයක්‌ ආරම්භ කළහ. ආහාර වර්ජනය කළ සිරකරුවෝ සිර මැදිරි අගුළුලාගෙන බන්ධනාගාර නිලධාරීන්ට සිර මැදිරි තුළට ඒමට නොදී උපවාස කළහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ බන්ධනාගාරයෙන් රැගෙන ගිය තිදෙනා ආපසු බන්ධනාගාරයට රැගෙන ඒමට නිලධාරීන් කටයුතු කළ යුතු බවය.

විසිහය වැනිදා බන්ධනාගාරයට ගිය පොලිස්‌ නිලධාරීන් හා අධිකරණයේ නීතිඥවරු පිරිසක්‌ සිරකරුවන්ට කරුණු පැහැදිලි කළහ. මේ තිදෙනා වව්නියාව බන්ධනාගාරයෙන් වෙනත් තැනකට රැගෙන ගියේ ඔවුනට පුනරුත්ථාපනය ලබාදී නිදහස්‌ කිරීමට බව පුන පුනා කීවේය. එල්. ටී. ටී. ටී. ඊ. යේ හිටපු කාන්තා නායිකාව වන තමිලිනී උදාහරණයට ගනිමින් ඇයව පුනරුත්ථාපනයට යොමු කළ අන්දමටම මේ තිදෙනාත් පුනරුත්ථාපනයට යොමු කරන බව නිලධාරීන් විසින් සිරකරුවන්ට ඒත්තු ගැන්වූහ. විසිහත් වැනිදා වව්නියාව බන්ධනාගාරයට හිරු උදාවූයේ ඉතා සාමකාමීවය. උපවාසයේ නිරතව සිටි සිරකරුවෝ උපවාසය අතහැර තිබිණි.

එහෙත් දහවල් කාලය වන විට උපවාසයේ නිරත වූ සිරකරුවන්ට ජේලර්වරු පිරිසකගෙන් විවිධ අන්දමේ අඩන්තේට්‌ටම් සිදුවිණි. බන්ධනාගාර නිලධාරීන්ගේ අභිප්‍රාය වූයේ යළිත් මෙවැනි සිදුවීමක්‌ වව්නියාව බන්ධනාගාරය තුළ සිදුවීම වළක්‌වා ගැනීමය. එහෙත් ඉන් සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.

එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ලෙස වව්නියාව බන්ධනාගාරයේ ඉතිරි වී සිටි සිරකරුවන් 29 දෙනා සංවිධානය වූහ.

ජේලර්වරුන්ගේ පහරදීම් පිළිබඳව යළි යළි මෙනෙහි කොට එහි අසාධාරණය ගැන සෙසු සිරකරුවන්ටද දන්වමින් සිරකරුවෝ සැලසුමක්‌ දියත් කළහ.

වව්නියාව බන්ධනාගාරයේ සිට වෙනත් පළාතකට රැගෙන යන ලද සිරකරුවන් තුන්දෙනා ආපසු රැගෙන එනතුරු ප්‍රාණ ඇපකරුවන් ලෙස බන්ධනාගාර නිලධාරීන් (ජේලර්වරුන්) තුන්දෙනකු අත්අඩංගුවට ගත් සිරකරුවෝ ඔවුන්ව සිරමැදිරියකට දමා අගුල් ලෑහ. සිරකරුවන් විසින් අඳිනු ලබන සිර ඇඳුම් (ජම්පර්) මේ නිලධාරීන්ට අන්දවා සිරකරුවෝ ඔවුනට කෑම බීමද සපයා දුන්හ.

බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනාගෙන් දෙදෙනකු සිරකරුවන්ගේ අත්අඩංගුවට පත් වූයේ ඔවුන් රාජකාරිවල නිරත වීමට ගිය අවස්‌ථාවේදීය. සිරකරුවන් තුන්දෙනා වෙනුවට බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙක්‌ම අත්අඩංගුවට ගැනීමට සිරකරුවෝ සැලසුම් කොට තිබූ නිසා දැල් ආවරණයකින් එළියට පැමිණි සිරකරුවකු යාබද කාමරයක්‌ දෙසට යමින් සිටි ජේලර්වරයකු පැහැර ගත්හ. ඒ අනුව සිරකරුවන්ට ජේලර්වරු තුන්දෙනකුම ප්‍රාණ ඇපකරුවන් ලෙස සිය බාරයට ගැනීමට හැකි වූහ.

එතැන් පටන් වව්නියාව බන්ධනාගාරයේ අවුල දිග්ගැස්‌සිණි. ජේලර්වරුන් තුන්දෙනාගේ ආරක්‍ෂාව පිළිබඳව විශාල ප්‍රශ්නයක්‌ පැනනැගුණි. වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ බන්ධනාගාරයට ගොස්‌ ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කරගැනීමට සාකච්ඡා ආරම්භ කළහ. සිරකරුවන්ගේ එකම ප්‍රකාශය වූයේ වව්නියාව බන්ධනාගාරයෙන් පිටතට

රැගෙන ගිය තම සහෝදර සිරකරුවන් තුන්දෙනා ආපසු වව්නියාව බන්ධනාගාරයට රැගෙන එනතුරු ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ නොකරන බවය.

රාත්‍රි කාලය දැඩි වෙත්ම බිය සංකාව සමග ජේලර්වරුන්ගේ ජීවිතවලට ඇති අවදානම ගැන විවිධ මත පළවූහ. අවසානයේදී වව්නියාව දිසාවිනිසුරු ආර්. ඇලෙක්‌රාජා මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ඇන්ටන් පුනිදනායගම් මහතා සමග වව්නියාව බන්ධනාගාරයට ගියහ. ඇන්ටන් පුනිදනායගම් මහතා නීතිඥවරයකු වශයෙන් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිසා බන්ධනාගාරය තුළ සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් 29 දෙනාගෙන් යම් ප්‍රතිචාරයක්‌ ලැබෙනු ඇතැයි මේ දෙදෙනා අනුමාන කළහ.

දිසාවිනිසුරුවරයාටත් නීතිඥවරයාටත් සිරකරුවන් හමුවීමට බන්ධනාගාරය තුළට බැසීමට සිදුවූයේ ඉනිමගක ආධාරයෙනි. ඉතා ආයාසයෙන් යුතුව ඉනිමගේ ගමන් කරමින් බන්ධනාගාරය තුළට බැසීමට ගිය දිසාවිනිසුරුවරයාට මෙහිදී කකුලේ යමක්‌ ගැටී තුවාල සහගත තත්ත්වයක්‌ද ඇතිවුණි.

මුලින්ම සිරකරුවන් සමග කතා කළ විනිසුරුවරයා බන්ධනාගාර නිලධාරීන් සමග ප්‍රශ්න ඇතිකර ගැනීම නිෂ්ඵල කරුණක්‌ බව අවබෝධ කොට දුන්නේ මේ තීරණය අධිකරණ නියෝගයක්‌ බව පෙන්වා දෙමිනි. එහෙත් සිරකරුවෝ ඊට අවනත නොවූහ. ඇන්ටන් ජුනිදනායගම් නීතිඥවරයා සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් තවත් බොහෝ දේ කීහ. ඒ සම්බන්ධයෙන් සිරකරුවන්ගේ කිසිදු අවධානයක්‌ යොමු නොවුණු තැන මේ බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනා රඳවා ගැනීම නිසා ඔවුන්ගේ ඥතීන් මහපාරේ දුක්‌ විඳින බව ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවේදී එක්‌ සිරකරුවකු නීතිඥවරයාට ප්‍රකාශ කොට තිබුණේ "අපි වසර දෙකක්‌ම සිටින්නේද මේ සිර මැදිරිවල අපා දුක්‌ විඳිමින් බවය. මේ නිසා සිරකරුවන් තුන්දෙනා ආපසු බන්ධනාගාරයට ගෙන එනතුරු ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කළ නොහැකි බව සිරකරුවන් තරයේම ප්‍රකාශ කළ බැවින් වව්නියාව දිසා විනිසුරුවරයාටත් නීතිඥවරයාටත් මැදියම් රැයේදී බලාපොරොත්තු සුන්ව බන්ධනාගාරයෙන් පිටවීමට සිදුවිණි.

විසිනව වැනිදා අලුයම වනවිටද මේ තත්ත්වයේ කිසිදු වෙනසක්‌ නොවීය. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, බන්ධනාගාර සහකාර කොමසාරිස්‌ කුලතුංග, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ සිරකරුවන්ට මානුෂීය ගුණාංග සලකා ජේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටියහ. ශබ්දවාහිනී යන්ත්‍රවල ආධාරයෙන් කළ එම ඉල්ලීමමට කිසිදු පිළිතුරක්‌ නොවිණි.

වව්නියාව බන්ධනාගාරයට සැපයෙන විදුලිය විසන්ධි කොට සිරකරුවන් අපහසුතාවට පත් කිරීමට ද නිලධාරීන් පියවර ගත් නමුත් ඒ කිසිවකින් හෝ සිරකරුවන් මෙල්ල වූයේ නැත. උදැසන හතේ සිට විවිධ උපක්‍රම යෙදුව ද සිරකරුවන්ගෙන් පැහැදිලි ප්‍රතිචාරයක්‌ නොලැබුණු නිසා සූක්‍ෂම මෙහෙයුමක්‌ දියත් කොට ජේලර්වරුන් තුන්දෙනා බේරා ගැනීමට අවසානයේදී තීරණය විණි.

මේ අනුව පස්‌වරු 12.30 ට පමණ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ පිරිසක්‌ බන්ධනාගාරයේ තාප්පයක්‌ බිඳ බන්ධනාගාරය තුළට කඩා පැන ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ජේලර්වරුන් තුන්දෙනා මුදාගෙන ගිලන්රථ මගින් වව්නියාව රෝහල කරා රැගෙන ගියහ. සිරකරුවන් සියලු දෙනාද එකතු කොට බන්ධනාගාර බස්‌රථවල පටවාගෙන අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගියහ. මේ සිද්ධියේදී සිරකරුවන් මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ නිලධාරීන් ද දසදෙනකු පමණ තුවාල ලැබූහ.

වව්නියාව බන්ධනාගාරයේ සිද්ධිය නාටකයක්‌ මෙන් වුවත් ඉන් ඉගෙනගැනීමට බොහෝ දේ තිබේ. වව්නියාව බන්ධනාගාරය තුළ මෙවැනි ගැටුම් ඇති වූ පළමු අවස්‌ථාව මෙය නොවේ. වසර දෙකක පමණ කාලයක සිට වව්නියාව බන්ධනාගාරය තුළ ගැටුම්ය. එල්. ටී. ටී. ඊ. සැකකරුවන් හා සාමාන්‍ය සිරකරුවන් එකට යෙදීම නිසා වව්නියාව බන්ධනාගාරය තුළ බොහෝ ගැටුම් ඇති විණි. නමුත් කිසිදු නිලධාරීයකු මේ ගැටුම් සඳහා විසඳුම් සෙවීම වෙනුවට බන්ධනාගාර නිලධාරීන් ලවා සිරකරුවන් ආණ්‌ඩු මට්‌ටු කිරීමට ක්‍රියාකිරීම මෙවැනි සිද්ධීන් ඇතිවීමට මූලික හේතුව විණි.

වව්නියාව බන්ධනාගාරය තුළ රඳවා සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් විවිධ කැරළි ගසන විට සංවිධානය වන විට ඔවුන්ව කුඩා කුඩා කොටස්‌ වශයෙන් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කළේ නම් ඔවුනට කැරළි ගැසීමට ඉඩක්‌ නොමැත. එමෙන්ම පළමු සිද්ධිය වූ දිනයේදීම මේ සිරකරුවන් වෙනුවෙන් කුමක්‌ හෝ දුරදර්ශී වැඩපිළිවෙළක්‌ සකස්‌ කළේ නම් බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනකුට මෙවැනි ශෝචනීය ඉරණමක්‌ අයත් නොවනු ඇත.

මේ ලිපිය ලියන මොහොත වන විට වව්නියාව බන්ධනාගාරය තුළ එකම සිරකරුවකු හෝ නොමැත. බන්ධනාගාර නිලධාරීන් පමණක්‌ සිටින වව්නියාව බන්ධනාගාරය දැන් පාලු අම්බලමක්‌ බවට පත්ව තිබේ. එහෙත් ඒ වනතුරු සිදුවූ සිදුවීම් මාලාව එතරම් යහපත් සිදුවීම් නොවේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි

පලාලි ගුවන්තොටුපළ නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

පලාලි ගුවන්තොටුපළ නවිකරණය කිරීම සිවිල් ගුවන්සේවා අධිකාරියට පැවරේ. පලාලි යනු හමුදාමය කේන්ද්‍රස්‌ථානයක්‌. එය ආරක්‍ෂක ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ස්‌ථානයක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීයෙක්‌ පැවසීය. කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්‌කරණය කිරීම ඉන්දියාව විසින් සිදු කරනු ලබයි. විශේෂයෙන් හමුදාමය ගුවන්තොටුපළක්‌ නවීකරණය කිරීමට කිසිම රටක්‌ වෙනත් රටකට දෙන්නේ නැතැයිද හෙතෙම පැවසීය.



වවුනියාව බන්ධනාගාරයේ කොටි සෙල්ලම මැඬලයි





ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීහු මුදා ගැනෙති

මෙහෙයුමට 400 ක්‌

එල්.ටී.ටී.ඊ. රැඳවියෝ දැඩි ආරක්‍ෂාව මැද අනුරාධපුරයට

එස්‌.ටී.එෆ්. හා පොලිසියේ නවදෙනෙක්‌ තුවාල ලබති

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමේ.

 
දින දෙකක්‌ තිස්‌සේ වව්නියාව බන්ධනාගාරය අත්පත් කර ගෙන එහි නිලධාරීන් පිරිසක්‌ ප්‍රාණඇපයට ගෙන සිටි එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී රැඳවියන් ඊයේ (29 වැනිදා) දහවල් අත්අඩංගුවට ගත් ආරක්‍ෂක අංශ බන්ධනාගාරයේ පරිපාලනය සියතට ගෙන ඔවුන්ගේ ග්‍රහනයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ද බේරා ගත්හ.

මෙහිදී රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ 9 දෙනෙක්‌ තුවාල ලැබූහ.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී රැඳවියන්ගේ ප්‍රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් බේරා ගැනීම සඳහා වව්නියාව පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඊයේ (29 දා) දහවල් දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් බන්ධනාගාරයේ එක්‌ පැත්තක විශාල තාප්පය බිඳ දමා ඊට ඇතුළු වූ අතර රැඳවියෝ ඔවුන් වෙත යකඩ පොලු ගස්‌මුල්වලින් ප්‍රහාරයක්‌ එල්ල කළහ.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් බන්ධනාගාරය වෙත ඇතුළු වුණු ආරක්‍ෂක අංශ කොටින්ගේ ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් තිදෙනා මුදා ගත්හ.

මුදාගනු ලැබූ නිලධාරීහු තිදෙනා දැඩි මානසික පීඩනයකට ලක්‌ව රෝගී තත්ත්වයෙන් පසුවූහ. පසුව එම නිලධාරීන් තිදෙනා ගිලන් රථ මගින් රෝහල් කරා යෑවීමට කටයුතු කර තිබිණි.

බන්ධනාගාරයට කඩා වැදුණු ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ එ ල්. ටී. ටී. ඊ. රැඳවියන් අතර ගැටුමක්‌ ද හටගත් අතර එහිදී එල්. ටී. ටී. ඊ. රැඳවියන් පිරිසක්‌ තුවාල ලැබූහ. තුවාලකරුවන් බස්‌ රථ මාර්ගයෙන් වව්නියාව රෝහල වෙත යෑවීමට පොලිස්‌ නිලධාරීහු පියවර ගත්හ. මෙම ගැටුමේදී රැඳවියන්ගේ යකඩ පොලු සහ ගල් මුල් ප්‍රහාරයන්ට ලක්‌වූ විශේෂ කාර්ය බළකායේ 6 දෙනෙක්‌ සහ පොලිසියේ තිදෙනෙක්‌ තුවාල ලැබූහ.

මේ අතර වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඇතුළු රැඳවියන් සියලු දෙනා බස්‌ රථවලින් අනුරාධපුරය බන්ධනාගාරය වෙත ආරක්‍ෂිතව යෑවීමට පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ. මෙම රැඳවියන් දැඩි ආරක්‍ෂාවක්‌ යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිsටියේය.

මේ අතර වවුනියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ඊයේ (29 දා) තීරණය කර ඇත.

දින දෙකක්‌ තිස්‌සේ බන්ධනාගාරය අත්පත් කරගෙන සිටි එල්. ටී. ටී. ඊ. රැඳවියන් එහි වාට්‌ටු කීපයකට ගිනි තබා දේපොළවලටද හානි කර තිබිණි. වව්නියාව බන්ධනාගාරය ත්‍රස්‌තවාදී රැඳවියන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී පී. රණවන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැලසුම් කෙරිණි.

මෙම දැවැන්ත මෙහෙයුම සඳහා පොලිස්‌ නිලධාරීන් 200 දෙනෙක්‌ විශේෂ කාර්ය බළකායේ සහ යුද හමුදාවේ නිලධාරීහු 200 දෙනෙක්‌ සහභාගි වූහ.

වව්නියාව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කණ්‌ඩායම් ක්‍රියාත්මක වූ අතර ඊයේ දහවල් වනවිට බන්ධනාගාරයේ මුළු පරිපාලනය පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් අතට ගෙන තිබිණි.

වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්‌ බන්ධනාගාර ඡේලර්වරුන් තුන්දෙනකු 28 දා සවස පැහැරගෙන ගොස්‌ සිරමැදිරියක ප්‍රාණඇපකරුවන් වශයෙන් තබා ගැනීමත් සමගම වවුනියාව බන්ධනාගාරය හා ඒ අවට ප්‍රදේශය තුළ ඊයේ උදේ වරුව වනවිටත් දැඩි නොසන්සුන්තාවක්‌ හට ගෙන තිබිණි.


සිරකරුවන් පිරිස බන්ධනාගාර නිලධාරීන් තිදෙනා ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන ඉල්ලා සිටියේ වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බූස්‌ස ඇතුළු වෙනත් ප්‍රදේශවලට රැගෙන ගිය එල්. ටී. ටී. ඊ. සැකකරුවන් වශයෙන් රඳවා සිටි සිරකරුවන් තුන්දෙනා වහාම ආපසු වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එන ලෙසයි.

එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ලෙස වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි මේ තුන්දෙනා වෙනත් පළාත්වලට රැගෙන ගොස්‌ ඇත්තේ පසුගිය 26 වැනිදායි. එම අවස්‌ථාවේදීම වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. සිරකරුවෝ ආහාර වර්ජනය කරමින් සිය සිරමැදිරිවලට ඉබි යතුරු දමාගෙන උපවාසයක්‌ ආරම්භ කළහ. බන්ධනාගාර නිලධාරීන්ගේ මැදහත්වීම මත එම උපවාසය 27 දා රාත්‍රිය වනවිට අවසන් වී තිබිණි.


නමුත් 28 දා රාත්‍රිය වනවිට ඡේලර්වරුන් තුන්දෙනකු පැහැරගත් බන්ධනාගාර සිරකරුවෝ ඔවුන් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් වෙනත් පළාත්වලට රැගෙන ගිය සිරකරුවන් තුන්දෙනා ඉල්ලා සිටියහ.

මේ පිළිබඳව සිරකරුවන් සමඟ වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ද, වව්නියාව දිසාවිනිසුරුවරයා ඇතුළු නීතිඥවරුන් පිරිසක්‌ද 28 දා රාත්‍රියේ සාකච්ඡා කොට ඇතත් සිරකරුවන් රඳවාගෙන සිටි ඡේලර්වරුන් තුන්දෙනා ලබාදීම ප්‍රතික්‍ෂේප කොට තිබේ.

උතුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ (29 වැනිදා) උදෑසන වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ බන්ධනාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කළහ. සිරකරුවන් සමඟ සුහදව සාකච්ඡා කොට ප්‍රාණ ඇපයට තබාගෙන සිටින ඡේලර්වරුන් තුන්දෙනා නිදහස්‌ කර ගැනීමට සියලුදෙනා තීරණය කළත් එම උත්සාහය අසාර්ථක විණි.

පොලිසියේ කැරළි මර්දන ඒකකය ද පොලිස්‌ විශේෂ කාර්ය බළකායද කැඳවා වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ගොස්‌ ඡේලර්වරුන් තුන්දෙනා බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කෙරුණේ ඉන් පසුවය.

වව්නියාවේ ත්‍රස්‌ත බලය ඇදවැටීම

වව්නියාවේ සිර ගෙදර සිටින හිටපු කොටි ත්‍රස්‌ත නායකයන් ඇතුළු කොටි කණ්‌ඩායම විසින් බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධිය විදේශ මාධ්‍ය විසින් වසන්කර ඇත.

විදේශ මාධ්‍ය ඒජන්තවරු හා කොටි වෙබ් අඩවිවලට තොරතුරු සපයන්නන් ඊයේ වව්නියාව සිරගෙය අසළ රැකසිටියේ හමුදාව හා පොලිසිය මේ අහිංසකයන්ට පහර දෙන්නේ කොයි අවස්‌ථාවේදැයි සිතමින් එසේම එන්. ජී. ඕ. නියෝජිතවරුන්ද පොලිසිය හා හමුදාව දේශපාලන සිරකරුවන්ට පහර දෙනු ඇතැයි සිතමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වාර්තා කිරීමට සූදානම්ව සිටි බව හෙලිවිය. එහෙත් ඊයේ දහවල් වන විට වව්නියාව සිරගෙදර කොටි බලය මර්දනය විය. ඒ වනවිට කොටි වෙබ් අඩවි නියෝජිතයෝ විදේශ රටවලට තොරතුරු යවමින් වව්නියාවේ සිරගෙදර සිටි ද්‍රවිඩයන්ට පහරදී ඇතැයි කියා සිටියහ.

වව්නියාවේදී සිදුවූයේ ත්‍රිකුණාමල කොටි හමුදා නායකයාව සිටි රුබන් කන්නන් ගුණදරන්ද, සෂි හා සරවනභවන්ද හිටපු ත්‍රස්‌තයකුව බූස්‌ස කඳවුරට ගෙනයැම සම්බන්ධව විරෝධ්‍ය දක්‌වමින් ඔහුව ආපසු වව්නියාවේ සිරගෙයට ගෙන ආ යුතු යෑයි දක්‌වමින් සිරගෙදර පාලනය අල්ලා ගැනීමයි.

බූස්‌ස සිරගෙයට ගෙනගිය මේ ත්‍රස්‌තයා 2006 මැයි 7 වැනිදා විල්පත්තුවේ සිදුවූ බිම්බෝම්බ ඇටවීමට සම්බන්ධ වූවෙකි.

මෙදින ගත්කරුවකු වන නිහාල් ද සිල්වා, ඩැරල් පෙරේරා, නන්දන අබේසූරිය, හෙන්රියා අබේසූරිය, චන්දි ආසිරිවාදන්, අනුලා ආසිරිවාදන් සහ අනුර දිසානායක යන පිරිස මරුමුවට පත් වූහ.

මොවුන් ගමන් කළ කැබ් රිය කොටි බෝම්බයකට ගොදුරු වූහ. වසර හයකට පසු එනම් 2012 ජනවාරි මස දිනෙක විල්පත්තු සිද්ධියට සම්බන්ධ කොටි ඝාතකයා අසුවිය.

මෙම ෙ€දවාචකයට ගොදුරු වූවන්ගෙන් නන්දන හා හෙන්රිටා විවාහ වී තිබුණේ මාස කීපයකට පෙරය.

කෙසේ වෙතත් 2006 මැයි 7 වැනිදා සිදුවූ මේ ඝාතනයේ සැකකරුවන් අසුවූයේ නැත. එහෙත් හය වසරකට පසු අල්ලාගත් ප්‍රධාන සැකකරු සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වව්නියාව මහාධිකරණයෙන් අවසරය ගත් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව බූස්‌සට ගෙන ගියහ.

වව්නියාවේ අරගලය ආරම්භ වූයේ එවිටය. වහාම අපේ සගයාව වව්නියාවට ගෙන එනු. නැත්නම් වැඩ වරදීවි යයි සිරගෙයි සිටි කොටි කණ්‌ඩායම කියා සිටියහ.

ඒ අතරේ වව්නියා සිරගෙදර කොටි උපවාසයක්‌ අරඹා ඇති බවටද කොටි වෙබ් අඩවි විසින් ප්‍රචාරය කෙරිණි.

වව්නියාව සිරගෙදරදී රැකවළුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය බී. බී. සී. සේවාවට වැදගත් වූයේ නැත. ඒ වෙනුවට උතුරේ ද්‍රවිඩයන්ට හැදුනුම්පත් ලබාදී නැතැයි බී. බී. සී. ය විසින් ප්‍රචාරය කෙරිණි.

එසේම වව්නියාව සිරගෙයි අර්බුදය වව්නියාවේ සාමකාමී තත්ත්වයක්‌ පවතින බවටද කොළඹට ප්‍රචාරය විය.

මෙයට පෙර වව්නියාවේ සිරගෙදර සිටි පාලකයා දැඩි ලෙස ක්‍රියාකළ අතර ඔහු ඉවත්ව යැමෙන් පසු පාලනය දුර්වල විය. වව්නියාව සිරගෙදර ගතවූ කාලය තුළ තිබුණේ ඉතාම දුර්වල ආරක්‍ෂක තත්ත්වයකි. ඒ නිසාම හිටපු කොටි කණ්‌ඩායම බලවත්ව ක්‍රියාකර ඇත. එහෙත් මුල්වරට වව්නියාව සිරගෙදර කොටි බලය විශේෂ කාර්ය බළකාය පොලිසිය එක්‌ව මර්දනය කෙරිණි.

එහෙත් වව්නියාවේ සිටි කොටි 321 ක පිරිස සිතුවේ වව්නියාවේ ආරක්‍ෂක අංශ මෙන් රජයටද කොන්දක්‌ නැති බවයි. වව්නියාවේ සිරගෙදර කොටි පාලනයෙන් මුදාගැනීමේ මෙහෙයුම ඊයේ දහවල් සිදුවිය. එහිදී කොටින්ද තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

400 ක භටපිරිසක්‌ මේ මෙහෙයුමට එක්‌වූහ. කොටින් සමග ඇති වූ සටනින් භටයන් 9 කට ද කොටින් රැසකටද තුවාල සිදුවිණි

මේ මෙහෙයුමට පෙර සිරගෙදර විදුලිය හා ජලය කපා හැරිණි. කොටි ත්‍රස්‌තවාදීන් සිතුවේ එවන් දෙයක්‌ සිදුනොවන බවයි. එහෙත් කොටි සැලසුම ව්‍යර්ථ විය. උපවාසය කරන බව පැවසූ කොටි ආහාර ද්‍රව්‍ය ද රැස්‌කරගෙන සිටි බව හෙළිවිය.

මෙහිදී එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු සිතුවේ මෙයට පෙර මෙය රජයේ නිලධාරීන් හිටපු කොටි ත්‍රස්‌තයන්ට හිස නමන බවයි. එහෙත් ඉවසාගෙන සිටි ආරක්‍ෂක බලධාරීහු අවසාන නිගමනයට එළැබිණි.

සිදුවූයේ කුමක්‌ දැයි අදහා ගැනීමට පස්‌දෙනාගේ කොටි කණ්‌ඩායමටද නොහැකි විය.

පසුගිය 27 වැනිදා සවස හිටපු කොටි පාලනයට යටවී තිබූ වව්නියා සිරගෙය 29 වැනිදා දහවල් වන විට රජයේ පාලනයට නතුවිය.

මෙහිදී හෙළිවූයේ වව්නියාවේ කොටි හිතවාදීන් හිටපු කොටින්ට සහය වී ඇති බවයි. වව්නියාව යනු එසේ මෙසේ තැනක්‌ නොවේ.

වෙස්‌ මුහුණු දාගත් කොටි වව්නියාවේ සිටිති. මොවුන්ගේ බලයක්‌ නැත්නම් වව්නියාවේ සිරගෙදර සිටින කොටින්ට සිරගෙය අල්ලාගත නොහැක. අනියම් මාර්ග දක්‌වන අන්දමට මෙයට පෙර වව්නියාවේ සිරගෙයි කොටි රැකවලකුට පහරදුන්නේ ඔහු කොටියකු ළඟ තිබී ජංගම දුරකතනයක්‌ අත්අඩංගුවට ගැනීම නිසාය.

අවසානයේදී කොටි ඉල්ලීම් ඉටු කළත් අත්අඩංගුවට ගත් ජංගම දුරකතනය ආපසු දෙනු. වහාම රැකවලාව මාරු කරණු යෑයි ඔව්හු පැවැසූහ.

බලධාරීහු මෙම ඉල්ලීමට එකඟවී එකී ඉල්ලීම් දෙකම ඉටුකළහ.

ජිනීවාහිදී ශ්‍රී ලංකා රජයට එරෙහිව සම්මත වූ යෝජනාව නිසා හිටපු කොටි නායකයෝ දැඩිලෙස සතුටට පත් වූහ. දැන් රජයට අපට එරෙහිව මුකුත් කරන්න බැහැ යෑයි ඔව්හු අදහස්‌ කළහ.

මේ අතර ද්‍රවිඩ සංධානය විසින් මේ කොටි ත්‍රස්‌තයන්ව දේශපාලන සිරකරුවන් ලෙස නම් කර ඔවුන්ට නඩු පවරනු නැත්නම් නිදහස්‌ කරනු යෑයි කියමින් වැලිකඩ සිරගේ ඉදිරියේදී විරෝධතාවයක්‌ද පැවැත්වූහ.

එහෙත් ඝාතන රැසකට සම්බන්ධ කොටි නිදහස්‌ කළ යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ මතුවිය. ඒ අනුව කොටින්ට එරෙහිව නඩු ඇසීමට විශේෂ අධිකරණ කීපයක්‌ පිහිටුවීමට තීරණය විය.

මේ අතර මෙම සිද්ධියෙන් රජය වෙත චෝදනාවක්‌ එල්ල වීමට ඉඩ ඇත. එහෙත් ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ හිස නැමිය යුතුද?

රුසියාවේ ජනාධිපති පුටින් වරක්‌ පැවසුවේ ත්‍රස්‌තවාදීන් කිසිදු ඉල්ලීමක්‌ තමාවත් රජයවත් රුසියානු ජනතාවත් හිස නමන්නේ නැති බවයි.

වව්නියාවේ සිරගෙදර පාලනය සියතට ගත්තේ දරුණු කොටි කණ්‌ඩායමයි. ඔවුන් ඉල්ලීම වූයේ විල්පත්තු ඝාතනයට සම්බන්ධ ඝාතකයාව පරීක්‍ෂණවලින් බේරා ගැනීමයි. මේ නිසා පැහැදිලි වන්නේ නීතිය අවතක්‌සේරුවට ලක්‌කිරීමට කොටින් දැරූ උත්සාහයයි. මීට ඉඩ දිය යුතුද?

ලෝකයේ රටවල් කීපයක පසුගිය කාලයේ සිරගෙවල් වල ඇතිවූ කැරලි දෙස බලන විට ඉතාමත් බිහිසුණු අන්දමින් එම කැරලි මර්දනය කර තිබේ.

වව්නියාව සිරගෙයි කොටින්ද සැලසුම් කළේ විදේශ ක්‍රමවේදය බව පැහැදිලිය.